
ලෝක ළමා දිනය අද – “මනසින් සවිමත් – දරුවන් පොහොසත්”
ලෝක ළමා දිනය අදට (01) යෙදී ඇති අතර, මෙවර එහි තේමාව ලෙස “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න තෝරාගෙන තිබේ.
ළමුන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත් කර තිබුණි.
එම වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
ළමුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා දෙමව්පියන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ලෝක ළමා දිනය වෙනුවෙන් අදහස් දක්වමින් සඳහන් කළාය.
දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය එක් දිනයකට සීමා නොවී අඛණ්ඩව ලබාදිය යුතු බව රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ද පෙන්වා දී තිබේ.
මේ අතර, ලෝක ළමා දිනයට සමගාමීව අද දිනයේ වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇත.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළේ, දරුවන් වෙනුවෙන් අද දිනයේ දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර ඇති බවයි.



