
TIN සහතිකය අනිවාර්යයි – ගිණුම් විවෘත කිරීමේ සිට වාහන ලියාපදිංචි කිරීම දක්වා නව නිර්දේශ
මේ වනවිට ගැසට් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ පසු, බදු හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය සේවාවන් කිහිපයක් සඳහා අනිවාර්ය ලේඛනයක් වනු ඇත.
ඒ අනුව, මූල්‍ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු වන අතර, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියටද එය අවශ්‍ය වේ.
එමෙන්ම මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී හෝ වාහන බලපත්‍රය අලුත් කිරීමේදී, ඉඩමක් හෝ එහි හිමිකම ලියාපදිංචි කිරීමේදීද TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
ව්‍යාපාර ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් සඳහා අයදුම් කිරීම වැනි මූල්‍ය හා වාණිජ කටයුතු සඳහාද TIN අංකය දැක්වීම නව නීති යටතේ අවශ්‍ය වේ.
මෙම සංශෝධනය හරහා බදු පද්ධතිය වඩාත් විධිමත් කිරීම සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති බව වාර්තා වේ.



