
හෙට සිට බිත්තර මිල ඉහළට
බිත්තර මිල හෙට (20) සිට සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය නිවේදනය කරයි.
ඒ අනුව සුදු බිත්තරයක සිල්ලර මිල රුපියල් 41ක් ලෙසත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් ලෙසත් අලෙවි කිරීමට නියමිත බව අද (19) කුලියාපිටියේ පැවති මාධ්‍ය හමුවකදී සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
මෙම මිල සංශෝධනයට රජයේ සහ අදාළ බලධාරීන්ගේ ප්‍රතිපත්ති තීරණ සෘජුව බලපා ඇති බවද ඔහු සඳහන් කළේය. ඉරිඟු ආනයනය නතර කර තිබීමත්, දේශීය ඉරිඟු නිෂ්පාදනය කුකුළු ආහාර සඳහා ප්‍රමාණවත් නොවීමත් නිසා කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු කියා සිටියේය.
ඉරිඟු වෙනුවට සහල් ඇතුළු වෙනත් ආදේශක භාවිත කිරීමෙන් සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවද සභාපතිවරයා අනාවරණය කළේය.
එමෙන්ම ඇතැම් වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බවටද ඔහු චෝදනා කළේය. මේ තත්ත්වය නිසා ගොවීන්ට දැඩි ආර්ථික පාඩු සිදුව ඇති අතර, දෛනික බිත්තර නිෂ්පාදනයද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අදාළ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත්ව සිටියද, ඒවාට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බවද සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.



