
GMOA ප්‍රකාශයට පශු වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්
GMOA ප්‍රකාශය සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් විරෝධය පළ කර තිබේ.
සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ ප්‍රකාශයට මෙලෙස විරෝධය පළ කර ඇත.
මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සඳහන් කළේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවයි.
ජලභීතිකා රෝගය තුරන් කිරීමේදී සත්ත්ව ජලභීතිකාව සහ මානව ජලභීතිකාව යන අංශ දෙකම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
සත්ත්ව රෝග සහ සතුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා ඇත්තේ පශු වෛද්‍යවරුන් බවත්, මානව රෝග සඳහා ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පුහුණුව ලබා ඇති බවත් ඔහු පැවසීය.
එබැවින් වෛද්‍යවරුන්ට සත්ත්ව ප්‍රතිකාර සම්බන්ධයෙන් අදාළ පුහුණුව ලබාදී ඇති අතර, ඔවුන් පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත්නම් පමණක් එවැනි කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් අදහස් පළ කරන සංවිධානයක් ලෙස අනෙකුත් වෘත්තීන්හි ගරුත්වය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බවයි.
“මේ ජල භීතිකාව තුරන් කිරීම කොටස් දෙකයි. එකක් සත්ත්ව ජල භීතිකාව තුරන් කිරීම සහ මානව ජල භීතිකාව තුරන් කිරීම. අපි විශ්වවිද්‍යාලවල සත්ත්ව රෝග සම්බන්ධයෙන්, සත්තුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඉගෙන ගෙන ඉන්නේ පශු වෛද්‍යවරු. මානවයාට බෙහෙත් කරන්න, මානව සම්බන්ධයෙන් ඉගෙන ගෙන තියෙන්නේ වෛද්‍යවරු.”
“හැබැයි දැනට මෙතන පොඩි විකෘතියක් තියෙනවා දැනට මේ සුනඛයින් සම්බන්ධ වැඩසටහන් කරන්නත් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම.”
“අපි වෛද්‍යවරු විදිහට අපේ වෘත්තිය ගැන කතා කරනකොට වෘත්තියේ තියෙන අඩුපාඩුකම්, වෘත්තිය වෙනුවෙන් අරගල කරනකොට අනිත් අයගේ වෘත්තිය ගරුත්වය ගැන කතා කරන්නත් අවශ්‍යයි.”
වෛද්‍යවරුන්ට වෛද්‍ය පීඨයේදී සත්ත්ව ප්‍රතිකාර පිළිබඳ පුහුණුව ලබාදී ඇත්නම් සහ ඔවුන් පශු වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත්නම් මෙම කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද ඔහු පැවසීය.
“කිසිම දවසක පශු වෛද්‍යවරු විදිහට අපි යන්නේ නෑනේ දරුවන්ට බෙහෙත් කරන්න. කොරොනා කාලේ එන්නත් කරන්න අපි ගියෙත් නෑනේ. ඒ අපි අපේ රාජකාරිය මොකක්ද කියලා හරියටම දන්නවා.”
එමෙන්ම සුනඛයින් සඳහා සිදුකරන එන්නත්කරණ කටයුතු වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවට ඉදිරිපත් වී ඇති අදහස සම්බන්ධයෙන්ද ඔහු ප්‍රශ්න කළේය.
“ඒ ගොල්ලෝ කියනවා වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ කරන මේ එන්නත්කරණය සඳහා MOH වෛද්‍යවරුන්ටත් ඒ අධීක්ෂණ කටයුතු භාර දෙන්න කියලා ඒක හරිම විහිළු සහගත කතාවක්”



