
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් ජයගනී
රුමේෂ් තරංගගෙන් ඩයමන්ඩ් ලීග් පිටියේ විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේදී මීටර් 88.14ක දක්ෂතාවක් සටහන් කරමින් රුමේෂ් තරංග පළමු ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව ඩයමන්ඩ් ලීග් තරගාවලි තුනකදී පළමු ස්ථානය දිනාගත් ක්‍රීඩකයෙකු බවටද ඔහු පත්ව තිබේ.
මෙහිදී රුමේෂ් තරංග හට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා මීටර් 88.05ක දක්ෂතාවක් වාර්තා කරමින් දෙවන ස්ථානයට පත්විය. එය නීරාජ් චෝප්රා මෙවර තරග වාරයේදී වාර්තා කළ ඉහළම දක්ෂතාවය වීමද විශේෂත්වයකි.
මීටර් 86.69ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් තරගයේ තෙවන ස්ථානය හිමිකර ගත්තේය.
23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ මීට පෙර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද රන් පදක්කම දිනාගැනීමට සමත්විය. එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් හයවන රන් පදක්කම ලෙස සැලකේ.
2006 වසරේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ රන් පදක්කම දිනාගැනීමෙන් වසර 20කට පසුව ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කමද මෙය වේ.
එමෙන්ම 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඩන්කන් වයිට් යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමෙන් වසර 76කට පසු, ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු එම ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසද එය ඉතිහාසයට එක්විය.



