ප්‍රධාන පුවත්

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් මාරු කෙරේ

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් මාරු කිරීම ඊයේ (08) දිනයේදී සිදුකර ඇති අතර, එම පිරිස වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාර වෙත යොමු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස මාරු කළ රැඳවියන් අතර විදේශීය කාන්තා රැඳවියන් පිරිසක්ද සිටින බව වාර්තා වේ. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර එහි සිටි කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයකද නිරතව සිටියහ.

කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාව අවසන් කර ඇති අතර, රැඳවියන් ක්‍රමානුකූලව වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීම සිදුකරමින් පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසීය.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිටි පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමේ කටයුතුද තවදුරටත් සිදුවන බව සඳහන්ය. එම මාරු කිරීම් බන්ධනාගාරවල පවතින පහසුකම් සලකා බලා සිදුකරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

මේ වන විටත් රැඳවියන් 1,000කට ආසන්න පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.

මේ අතර අගුණුකොළපැලැස්ස, බූස්ස සහ වැලිකඩ බන්ධනාගාරවලදී රැඳවියන් තිදෙනෙකු මියයාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ බන්ධනාගාරවලට අයත් පොලිස් ස්ථාන මඟින් මෙම විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු සියදිවි හානිකරගෙන ඇති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button