
Rebuilding Sri Lanka ආපදා ප්‍රතිසාධන ප්‍රගතිය සමාලෝචනය
Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය ආපදා ප්‍රතිසාධන වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කර තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම රැස්වීමේදී, ‘දිට්වා’ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන්වල වත්මන් තත්ත්වය සහ මතුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන්ම භූමි පරීක්ෂණ හා තාක්ෂණික ඇගයීම් කඩිනම් කිරීමේදී නිලධාරී හිඟය ප්‍රධාන බාධාවක් වී ඇති බව සාකච්ඡාවට ලක් වූ අතර, එම ගැටලුවට විසඳුමක් ලෙස නව තාක්ෂණික නිලධාරීන් 125 දෙනෙකු බඳවාගෙන ඇති බවත් ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත අනුයුක්ත කරන බවත් දැනුම් දෙන ලදී.
ආපදාවෙන් හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීම්, පූර්ණ හානි වූ නිවාස හිමියන්ට නිවාස හෝ මූල්‍ය ආධාර ලබාදීම, මාර්ග, පාලම්, බෝක්කු සහ පාසල් ප්‍රතිසංස්කරණය ඇතුළු කාර්යයන් පිළිබඳව ද මෙහිදී විමර්ශනය කෙරිණි. අර්ධ හානි සඳහා වන්දි ගෙවීම් අවසන් අදියරට පැමිණ ඇති අතර, පූර්ණ හානි වූ නිවාස සම්බන්ධයෙන් ඇතැම් දිස්ත්‍රික්කවල පවතින ගැටලු කඩිනමින් විසඳීමට අවධානය යොමු විය.
මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නිවාස ඉදිකිරීම් වැඩසටහන්වලදී මතුව ඇති අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. නිවාස ඉදිකිරීම සඳහා ලක්ෂ 50ක මූල්‍ය ආධාර ලබාදීමේ වැඩසටහන ඇතැම් ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක වුවද, සමහර දිස්ත්‍රික්කවල ප්‍රායෝගික ගැටලු පවතින බව සඳහන් විය.
මේ අතර, හානි වූ මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සඳහා චීනය සහ ඉන්දියාව මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් රැස්වීමේදී අනාවරණය විය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් රටේ භූමි ප්‍රදේශවලින් විශාල කොටසක් බලපෑමට ලක්වීම හේතුවෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක මාර්ග සංවර්ධන කටයුතු එකවර ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් පවතින අභියෝග සහ විසඳුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
එසේම, යුනිසෙෆ් ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව ආපදාවට පත් ප්‍රදේශවල පාසල් වයසේ සියලුම දරුවන් නැවත පාසල් පැමිණීම ආරම්භ කර ඇති බවත්, අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවත් වාර්තා වී තිබේ.
නිවාස ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් පිළිබඳවද සාකච්ඡා වූ අතර, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ප්‍රාදේශීය ගැටලු හඳුනාගැනීමටද තීරණය කර ඇත. මෙම ක්‍රියාවලිය තවදුරටත් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත පවරා තිබේ.
මීට අමතරව, ජනතාව සමඟ සෘජු සම්බන්ධතාවක් පවත්වාගෙන යන සිවිල් සංවිධානවල නියෝජිතයන් මෙම ප්‍රතිසාධන වැඩසටහනට වඩාත් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය ද රැස්වීමේදී අවධාරණය කෙරිණි.



