ප්‍රධාන පුවත්

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදීමට විපක්ෂයේ සැලසුම

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රමාණවත් වගකීමක් ඉටු නොකළ බවට විපක්ෂය චෝදනා කරයි.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පසුගිය 10 වැනිදා අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති අතර, එය ලබන සතියේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

මීට පෙර ද බාල ගල්අඟුරු සිද්ධිය මුල්කරගෙන හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අතර, එය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

තවද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුවූ විවේචන හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය මීට පෙර සූදානම් වී තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button