
2010න් පසු උපන් පරපුරට දුම්කොළ තහනමක්
2010 වසරෙන් පසු උපන් දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් සම්පූර්ණයෙන් තොර අනාගත පරපුරක් බවට පත් කිරීම අරමුණු කරගත් නව සංකල්ප පත්‍රිකාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී තිබේ. මෙම වැඩසටහන සකස් කර ඇත්තේ NATA විසින් වන අතර, දුම්කොළ හා දුම්වැටි නිෂ්පාදනවලින් අනාගත පරපුර ආරක්ෂා කිරීම එහි ප්‍රධාන ඉලක්කය ලෙස සඳහන් වේ.
මෙම යෝජනාව යටතේ දුම්කොළ සහ මධ්‍යසාර නිසා ඇතිවන සමාජ හා සෞඛ්‍ය හානිය අවම කිරීම සඳහා වැදගත් පියවර දෙකක් නිර්දේශ කර ඇත. ඉන් පළමුවැන්න වන්නේ දැනට ක්‍රියාත්මක දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ රෙගුලාසි යාවත්කාලීන කර නව සංශෝධන ගෙන ඒමයි. දෙවැන්න ලෙස “දුම්කොළ රහිත අනාගත පරපුර” සංකල්පය යටතේ නියමිත වයස් සීමාවකින් පසු උපත ලබන පුද්ගලයින්ට දුම්කොළ හා ඒ ආශ්රිත නිෂ්පාදන මිලදී ගැනීම හෝ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම යෝජනා කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ, දුම්කොළ සහ මධ්‍යසාර නිෂ්පාදන දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න අනාගතයකට බාධාවක් වන බවයි. එමෙන්ම දුම්කොළ නිෂ්පාදන සඳහා ප්‍රවේශය සීමා කිරීම සහ තහනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැපවන බවද ඔහු පවසා ඇත.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ හා මධ්‍යසාර භාවිතය හේතුවෙන් සිදුවන බවයි. ලෝක මට්ටමින් ද දුම්කොළ භාවිතය නිසා වාර්ෂිකව මිලියන ගණනක් මියයන බවද ඔහු සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ දූ දරුවන්ට දුම්කොළ රහිත අනාගතයක් උදාකරදීම සඳහා ගන්නා වැදගත් පියවරක් ලෙස සැලකේ.



