කාලගුණය

මි.මී. 100 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වේගයකින් හමා යා හැකිය. දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතියද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button