
සාමයේ පාගමන 2026 ශ්‍රී ලංකාවේ ආරම්භයි – ජනපතිගේ පූර්ණ සහයෝගය
මේ අතර අද (21) සිට ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ වූ “Walk for Peace” හෙවත් සාමයේ පාගමන වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පූර්ණ සහයෝගය පළ කර තිබේ.
ජනාධිපතිවරයා තම X ගිණුම හරහා සටහනක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
“සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි.” ලෙස එහි සඳහන් වේ.
තවද මෙම ආගමික හා ආධ්‍යාත්මික කටයුත්ත පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර ඇත.
“මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමි.”
මෙම වැඩසටහන ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝකයට සාමය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලබාදීමටත් උපකාරී වනු ඇතැයි ජනාධිපතිවරයා සිය පණිවිඩයේ අවසානයේ අවධාරණය කර ඇත.
සාම පාගමන සඳහා වියට්නාමයේ පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කර ඇත.
එමෙන්ම “ආලෝකා” නම් සුනඛයාද මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “Walk for Peace” වැඩසටහන අප්‍රේල් 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද මෙම පාගමන සමඟ රැගෙන යාමට නියමිතය.
මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සහය දක්වයි.



