ප්‍රධාන පුවත්

සහල් හිඟයක් නෑ – ඇමති වසන්ත

රට තුළ ඉදිරි මහ කන්නය තෙක් කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

ඔහු සඳහන් කළේ රතු සහ සුදු සහල් ඇතුළුව මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න තොගයක් මේ වන විට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි.

එමෙන්ම අවශ්‍යතාව අනුව ආදේශක සහල් තොග ආනයනය කිරීම සඳහාද රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය හේතුවෙන් බලශක්ති අංශයට බලපෑම් එල්ල වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර තත්ත්වයන් තවදුරටත් අභියෝගාත්මක වුවද, අපනයන ආදායම සහ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ඩොලර් ආදායම ඉහළ නංවා රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ගොවීන් සඳහා අවශ්‍ය පොහොර සැපයීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, පසුගිය මහ සහ යල කන්න සඳහා සිදු කළ මැදිහත්වීම් මෙන්ම ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමටද මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.

එසේම පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

කීරි සම්බා සහල් හිඟය හේතුවෙන් වෙළෙඳපොළේ ඇති වූ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම වසර තුළ ආදේශක සහල් පමණක් ආනයනය කිරීමට රජය තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

ගොවියාගේ ආදායම මෙන්ම පාරිභෝගිකයාගේ අයිතිවාසිකම්ද ආරක්ෂා වන අයුරින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button