
අද විශේෂ
මහා ශිව රාත්‍රිය අදයි – ලොව පුරා හින්දු බැතිමතුන් උපවාස හා පූජා විධිවල නිරත වේ
ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී උත්සවය අද (15)ට යෙදී තිබේ. මහා ශිව රාත්‍රිය ලෙස හඳුන්වන මෙම පූජනීය දිනය, ශිව දෙවියන් උදෙසා කැපවූ විශේෂ ආගමික උත්සවයක් ලෙස සැලකේ.
ශිව භක්තිකයන් මෙම දිනයේදී උපවාසයේ යෙදෙමින්, රාත්‍රිය පුරා නිදි වර්ජිතව පූජා හා ආගමික කටයුතු සිදු කරති. ශිව දෙවියන්ට කැපව පූජා පැවැත්වීමෙන් මෝක්ෂය ප්‍රාප්ත වන බව ඔවුන්ගේ ආගමික විශ්වාසයයි.
අඳුර දුරු වී ප්‍රඥා ආලෝකය උදා වේවා යන ප්‍රාර්ථනාව මූලික කර ගනිමින්, බැතිමතුන් විශේෂයෙන් පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍ර කරගෙන ආගමික වත්පිළිවෙත් ඉටු කරති. රාත්‍රිය පුරා භජන, පූජා සහ ධර්ම දේශනා පැවැත්වීමද මෙම දිනයේ විශේෂත්වයකි.
මහා ශිව රාත්‍රිය හින්දු ආගමික සම්ප්‍රදායේ අතිශය පූජනීය හා ආත්මීය වැදගත්කමක් ඇති උත්සවයක් ලෙස ලොව පුරා සැමරේ.



