සෞඛ්‍යය

පොසොන් දන්සල් සංවිධානයට පොලීසිය දැනුවත් කිරීම අනිවාර්යයි

එළඹෙන පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් හා තොරණ සංවිධානය කරන සියලු පාර්ශ්වයන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතු බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මාර්ග අනතුරු අවම කිරීම අරමුණු කරගෙන මෙම උපදෙස් ලබාදී ඇති බවය.

“මහජනයාට ප්‍රදර්ශනයක් සිදුකරන දෙයක් කරනවා නම්, ස්ථානාධිපති සම්බන්ධීකරණයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න කියලා තියෙනවා. කොහොමද වාහන පාර්ක් කරන්නේ යන ආදි වශයෙන්. අපි කියන්නේ නෑ දන්සල් දෙන්න එපා කියලා. ඒක විදිමත් කරන්න. මේ පොසොන් එකට අනිවාර්යයෙන්ම ස්ථානාධිපතිවරු මැදිහත්වෙලා, විදිමත්ව දන්සල් සංවිධානය කරන්න.”

එමෙන්ම මාර්ග අනතුරු සිදුවූ අවස්ථාවල ඒවා පොලීසියට වාර්තා නොකර සමථයකට පත්කිරීමේ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

“අපේ තියෙන සංඛ්‍යා ලේඛන අනුව තියෙන අනතුරු ප්‍රමාණයට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙනවා. සමහර අවස්ථාවලදී අවධානයක් නොමැතිව ගිහින්, අනතුර වුණාට පස්සේ ඒක මහා මාර්ගයේම සමතයකට පත්කරනවා. පොලිස්පතිවරයා උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම හැම අනතුරක්ම වාර්තා කරලා, රිය අනතුරු ලේඛන ගත කරන්න. පැය 24ක් තුළ අනතුරක් වාර්තා නොකළොත් ඒක වරදක්. ඒක වාර්තා කිරීම රියදුරුගේ වගකීමක්. එහෙම නැතු වුණොත් අනතුර වාර්තා නොකිරීම කියන වැරැද්දටත් යටත් වෙනවා.”

තවද මෙම වසර තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවා ඇති රියදුරන් 7,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු හෙළි කළේය.

“ගිය වසරට සාපේක්ෂව මේ වෙද්දි මාරක රිය අනතුරු 98ක වැඩිවීමක් තියෙනවා සහ මියගිය සංඛ්‍යාව 104ක වැඩිවීමක් තියෙනවා. නමුත් සතිපතා බලද්දි ඒ අනතුරු අඩුවීගෙන යනවා. අපි මේ ගැන විශේෂ මෙහෙයුම් දියත් කරලා තියෙනවා.”

මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button