කාලගුණය

ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනයක් නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අද (04) දිනයේ ප්‍රබල වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බැවින් දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පසුගිය පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට පමණක් වැසි ලැබී ඇති අතර බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවී තිබෙන බවයි.

ඒ අනුව මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින බවත්, කැලණි ගඟේ ඉහළ ප්‍රදේශ වන කිතුල්ගල සහ නොර්වුඩ්හි ජල මට්ටම් ද අඩුවෙමින් පවතින බවත් ඔහු පැවසීය. කිතුල්ගල ප්‍රදේශයේ සුළු වැඩිවීමක් වාර්තා වුවද එය අවදානම් මට්ටමක නොමැති බව ද සඳහන් කළේය.

අවිස්සාවේල්ල, ලෙන්කොස් සහ හංවැල්ල ඇතුළු කැලණි ගඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම් ද පහළ යමින් පවතින බැවින් එම ගංගා ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය තවත් වර්ධනය වීමේ අවදානමක් නොමැති බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම කළු ගඟ ආශ්‍රිත රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම් ද අඩුවෙමින් පවතින අතර, එම ප්‍රදේශවලද ගංවතුර අවදානමක් දක්නට නොලැබෙන බව සඳහන් කෙරිණි.

නිල්වලා ගඟ සහ ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් නොලැබුණු බවත්, අද දිනයේද මිලිමීටර් 25ට අඩු වර්ෂාපතනයක් පමණක් අපේක්ෂා කරන බැවින් එම ගංගාවල ජල මට්ටම් සුළු වශයෙන් වෙනස් වුවද ගංවතුර අවදානමක් නොමැති බවත් සූරියබණ්ඩාර මහතා පැවසීය.

අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම් ද මේ වනවිට අවදානම් සීමාවෙන් පහළ මට්ටමක පවතින බව සඳහන් කළ ඔහු, අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණහොත් දැනට පවතින තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

කෙසේවෙතත්, ඉදිරියේදී තෙත් කලාපයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට යළි තද වැසි ඇදහැලුණහොත් කැලණි ගඟ, කළු ගඟ සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල නැවත ගංවතුර තත්ත්වය උග්‍ර විය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button