
මහනුවර පළමු කුඹල් පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
අදින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් අඛණ්ඩව පැවැත්වෙන අතර, ලබන 23 වනදා සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.
අද පැවැත්වෙන පළමු කුඹල් පෙරහැර වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, නගරයේ වාහන ධාවනය සඳහා විකල්ප මාර්ග ද හඳුන්වා දී තිබේ.
පළමු කුඹල් පෙරහැර රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතය.
ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාලය තුළ කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා නගරයට ඇතුළු කළ හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය හරහා යටිනුවර වීදියට පිවිසිය හැකිය. එතැන් සිට මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කිරීමට හැකියාව පවතී.
කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහාද පොලිස් හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකි බව පොලීසිය පවසයි.
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවත හරහා බෝගම්බර සහ දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ හැකිය. රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළුවීමටද හැකිය.
මහනුවර නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන රථවාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදියට පිවිස, රැජින හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකි බව සඳහන් කරයි.
එමෙන්ම බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කිරීමටද අවස්ථාව තිබේ.
කොළඹ දෙසින් මහනුවර නගරයට පැමිණීමට සහ නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයට පැමිණෙන ජනතාව සහ රියදුරන් පොලීසිය විසින් හඳුන්වාදී ඇති රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.



