ප්‍රධාන පුවත්

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ නොකරන්න – අධිකරණ සේවා සංගමය

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් ලිපියක් මඟින් ඉල්ලීමක් කර තිබේ.

එම සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, ස්ථාවරත්වය සහ මහජන විශ්වාසය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සංගමය සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

ආණ්ඩුව විසින් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් මේ වනවිටත් විරෝධය පළ කර ඇත.

දිසා විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ද ජූලි 11 දින පැවති මහා සභා රැස්වීමේදී මෙම යෝජනාවට විරෝධය පළ කරමින් යෝජනාවක් සම්මත කර ඇති අතර, ඒ පිළිබඳව ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දීමට තීරණය කර තිබිණි.

යෝජිත සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් ඉදිරි වසර දෙක තුළ අධිකරණ නිලධාරීන්ගේ උසස්වීම් සම්පූර්ණයෙන්ම ඇණහිටින බවත්, මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීමට ගතවන කාලය තවත් වසර දෙකකින් දීර්ඝ වන බවත් සංගමය පෙන්වා දෙයි.

එම තත්ත්වය හේතුවෙන් මහාධිකරණයට පත්වීමේ ක්‍රමවේදයේ අසමතුලිතතාවය වැඩිවීම, වෘත්තීය විනිසුරු සංයුතිය දුර්වල වීම, විනිසුරුවන්ගේ වෘත්තීය අභිප්‍රේරණය පහත වැටීම සහ දක්ෂ තරුණ නීතිඥයින් අධිකරණ සේවයෙන් ඈත්වීමේ අවදානමක් මතුවන බවද ලිපියෙන් සඳහන් කර ඇත.

ඒ අනුව උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අත්හැර දමා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, මහජන විශ්වාසය සහ අඛණ්ඩ ගෞරවය ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button