
ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට රජය සූදානම්
ලං.වි.ම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව රජය පවසයි.
ඒ අනුව, මෙම මස අවසානයට පෙර ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධ නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම අදියර 5ක් යටතේ ක්‍රියාත්මක කරමින් ඇති අතර, ඒහි අදියර 4ක් මේ වන විටත් සාර්ථකව අවසන් කර තිබේ.
මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සහ දිගුකාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම ඒ අතරට අයත් බව විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා සඳහන් කළේය.
මෙහි අවසන් අදියර ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර, එය පෙබරවාරි මස තෙවන සතිය වන විට අවසන් කිරීමට නියමිතය.
ඒ අනුව, පෙබරවාරි මස අවසන් වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමේ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ සේවකයින්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදු කිරීමට සැලසුම් කර ඇත.
විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,173 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම් කර තිබූ අතර, ඉන් 20 දෙනෙකු එම ඉල්ලා අස්වීම යළි කැඳවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, සේවකයින් 2,153 දෙනෙකු සඳහා ස්වේච්ඡා විශ්‍රාමයට අනුමැතිය ලබා දී ඇති අතර, ඔවුන්ට හිමි වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව ද වාර්තා වේ.



