කාලගුණය

ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි – සුළි කුණාටු අවදානමක්

අද දින ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවත්, බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි සහ තද සුළං ගැන කාලගුණ අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව තිබේ. එය බටහිර දෙසට ගමන් කර ඇති අතර, උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලගුණ පද්ධතිය බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද (26) දිනයේදී එය බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

අනතුරුව, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය හෙට (27) පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, එය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා හමා යාම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩිවීමේ හැකියාව පවතී.

ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබීමේ හැකියාවද පවතී.

මේ අතර, ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අමතරව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button