ප්‍රධාන පුවත්

BRICS නියෝජිතයන් සාංචි බෞද්ධ උරුමයෙන් මවිත වෙයි

BRICS නියෝජිතයන් සාංචි බෞද්ධ උරුමයෙන් මවිත වෙයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි ඓතිහාසික සාංචි බෞද්ධ පුදබිමේ ඇති පෞරාණික උරුමය සහ සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පය බ්‍රික්ස් නියෝජිතයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ අශෝක අධිරාජයා විසින් ඉදිකළ මෙම පුදබිම වර්තමානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. එහි ඓතිහාසික වැදගත්කම, බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව නියෝජිතයන් සිය ප්‍රසාදය පළ කර තිබේ.

බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව සහ තායිලන්තය ඇතුළු බ්‍රික්ස් රටවල් 11ක් නියෝජනය කරමින් පුද්ගලයන් 42 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සංචාරයට එක්වූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ උපදෙස් මත නියෝජිතයන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ වැඩසටහනක් ද සංවිධාන කර තිබිණි.

සාංචි ඉතිහාසයේ වසර 74කට පසු ප්‍රථම වරට භූගත ධාතු ගර්භයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා ඉහළ මාලයට වැඩම කරවා නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ ධාතු ප්‍රදර්ශනයක් සහ තේවා පූජාවක් පැවැත්වූ බව සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර පූජ්‍ය පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට බ්‍රික්ස් රටවල සංස්කෘතික ක්‍රියාකාරීන් හා පුරාවිද්‍යා බලධාරීන් මෙන්ම ඉන්දීය මධ්‍යම රජයේ සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

පුරාණ ඉන්දීය සංස්කෘතිය සහ ලෝක සාමයේ පණිවිඩය නියෝජනය කරන ඓතිහාසික උරුමයක් ලෙස සාංචි පුදබිම හඳුන්වාදුන් නියෝජිතයන්, වසර දහස් ගණනක් පැරණි බෞද්ධ හා ඉන්දීය උරුමයන් සියැසින් දැකගැනීමට ලැබීම අමතක නොවන අත්දැකීමක් බව සඳහන් කර තිබේ.

බ්‍රික්ස් නියෝජිත සමුළුව අගෝස්තු 05 සිට 08 දක්වා බෝපාල්හි කුෂාභාවු තක්රේ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මේ අතර, 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button