
ඩෙංගු වැළඳුණු දරුවන්ට පසුකාලීන සංකූලතා ගැන වෛද්‍ය අනතුරු අඟවයි
මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර, රෝගය වැළඳුණු දරුවන්ට සුවය ලැබීමෙන් පසුවද ඇතැම් බරපතළ සංකූලතා මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඩෙංගු හේතුවෙන් කලාතුරකින් මොළය, හෘදය සහ පේශි පද්ධතියට බලපෑම් ඇතිවිය හැකි බවයි. එමෙන්ම, සාමාන්‍යයෙන් දින 7ත් 8ත් අතර කාලයකදී දරුවා සුවය ලබන ලක්ෂණ නොපෙන්වා දිගටම උණ පවතින්නේ නම්, එය HLH නම් ප්‍රතිශක්තිකරණ සංකූලතාවක් විය හැකි බවද ඔහු පැවසීය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මෙන්ම දරුවන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කිරීමද අත්‍යවශ්‍ය බව වෛද්‍යවරයා අවධාරණය කළේය. විශේෂයෙන් පස්වරු 5.00 සිට 7.00 දක්වා කාලය තුළ ජනෙල් වසා තැබීම සහ දරුවන්ට අත් දිග ඇඳුම් ඇන්දවීම මඟින් අවදානම අඩු කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
“මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය අපි දකිනවා. මදුරුවෝ බෝවෙන ස්ථාන අවම කරනවා වගේම මදුරුවෝ දෂ්ට කිරීමත් අවම කරන්න අපි කටයුතු යොදන්න ඕනේ. හවසට 5.00-7.00 අතර පුළුවන් තරම් ඉක්මනට ජනේල් වහලා මදුරුවෝ ගේ ඇතුළට එන එක වළක්වා ගන්න. ඊට අමතරව අත්දිගට කමිසයක්, කලිසමක් ඇඳගෙන ඉන්න පුළුවන් නම් මදුරුවෝ දෂ්ට කිරීම අවම කරගන්නත් පුළුවන්. ඩෙංගු රෝගය හැදුනොත් රෝග ලක්ෂණ විදිහට උණ සමඟ ඇස් යට කැක්කුම, හිසරදය, ඇඟපත රිදෙන එක, හන්දි කැක්කුම වගේ රෝග ලක්ෂණ තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. හැබැයි ඩෙංගුවලින් සංකූලතා කීපයක් පසුගිය දිනවල අපි දැක්කා.
විශේෂයෙන්ම ඩෙංගුවලට පසුකාලීනව මොළයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් කලාතුරකින්. දෙවනුව, ඩෙංගු නිසා පේෂිවල අස්ථිවල කැක්කුමක් ඇතිවෙන්න පුළුවන්. තුන්වනුව, ඩෙංගු නිසා හෘදය වස්තුවට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඊටත් අමතරව කලාතුරකින් ඩෙංගු හැදුනාට පස්සේ දිගටම උණ තියෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයේ යම්කිසි අඩුවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ රෝගී තත්ත්වයක්.”
“ඩෙංගු සාමාන්‍යයෙන් හැදුනාට පස්සේ දවස් හතක් අටක් වෙනකොට හොඳ වෙනවනේ. ඩෙංගු හොඳ වෙනකොට ළමයාගේ ආහාර රුචිය වැඩිවෙනවා, ළමයා හිනාවෙනවා.. රෑෂ් එකක් ඇතිවෙනවා අත් කකුල් කසන්න ගන්නවා වගේ තත්ත්වයක් එන්නේ නැතුව දිගටම උණ පවතිනවා ළමයාගේ ලෙඩ තත්ත්වය දිගටම තියෙනවා නම් සමහර වෙලාවට මේක HLH කියන ඒ ප්‍රතිශක්තිකරණයේ උණතාවය ඇතිවීම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී අපි CPK කියන ඒ පරීක්ෂණය කරනවා. එහෙම වුණොත් විවේකය ඉතාමත් අවශ්‍යයි. ස්වභාවික සුදු පාට දියර වර්ග දරුවන්ට බොන්න දෙන්න. එමඟින් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්.
ඊට අමතරව රුධිර පට්ටිකා 150ට වගේ අඩු වුණොත් සමහර වෙලාවට අපිට මේ දරුවාව ඇතුළු කරලා පරීක්ෂණ කරලා බලන්න වෙනවා. ඩෙංගු රක්තපාත උණ තත්ත්වය හරි ඩෙංගු කම්පන තත්ත්වයන් වගේ තියෙනවා නම් කොහොමත් රෝහලක පරීක්ෂා කරලා, රෝහලක පැය 48ක් හෝ ඊට වැඩි දවස් ගානක් අපිට දරුවාව බලාගන්න වෙනවා. ඉතින් ඩෙංගු තාමත් මාරාන්තිකයි..”
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ගතවූ දිනය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,200කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.
මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 57,668 දක්වා ඉහළ ගොස් ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
ඩෙංගු මර්දන වැඩසටහන්ද අද දිනයේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ අතර, රජයේ ආයතන ඇතුළු ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතුද සිදුකර තිබුණි.



