
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට ලකුණු 105ක විශිෂ්ට ජයක් – B කාණ්ඩයේ පෙරමුණට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමඟ තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයේ පෙරමුණ හිමි කරගැනීමට සමත් වී ඇත.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 226ක දැඩි ඉලක්කයට පිළිතුරු සැපයූ ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 120ක් පමණි.
ඕමාන ඉනිමේ ප්‍රධාන ලකුණුලාභියා වූ මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53ක් ලබාගත් අතර, වසීම් අලි ලකුණු 27ක් එක් කළේය. අනෙකුත් පිතිකරුවන්ට ලකුණු 9 ඉක්මවීමට නොහැකි විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර දුෂ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 2ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 11කට කඩුලු 2ක් ද ලබා දක්ෂතා දැක්වූහ.
ශ්‍රී ලංකාව සහ ඕමානය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ හමුවූ පළමු අවස්ථාව ලෙසද මෙම තරගය වාර්තා වෙයි.



