ප්‍රධාන පුවත්

වර්ෂාව අඩුවුණොත් විදුලි බිල ඉහළ යාමේ අවදානමක් – ඩී.වී. චානක

ඉදිරි කාලයේදී අපේක්ෂා කරන මට්ටමේ වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි බිල ඉහළ නැංවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.

රජය විසින් විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බව ප්‍රකාශ කළද, මේ වනවිට පෙර පැවති මට්ටමට සාපේක්ෂව විදුලි ගාස්තු තුනෙන් එකකින් පමණ ඉහළ ගොස් ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විදුලි ගාස්තු ඉහළ ගියහොත් කර්මාන්තයට බලපෑම්

ඉදිරියේදී යළි විදුලි ගාස්තු ඉහළ නැංවුවහොත් එය ජනතාවට පමණක් නොව, එළඹෙන සංචාරක සමය හමුවේ සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපානු ඇති බව ඩී.වී. චානක මහතා අවධාරණය කරයි.

පසුගිය කාලයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් යම් ප්‍රමාණයක ජල විදුලි උත්පාදනයක් ලබාගැනීමට හැකි වූ බවත්, දහවල් කාලයේ සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලි පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

ගල් අඟුරු සම්බන්ධයෙන් ඇති වූ පාඩුවෙන් පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 10කට ආසන්න ප්‍රමාණයක් පමණක් ඇතුළත් කර තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

අලුතින් ගල් අඟුරු රැගත් නෞකා පැමිණ ඒවා මඟින් විදුලිය උත්පාදනය කරන තෙක් එම පාඩුවෙන් සම්පූර්ණයෙන් මිදීමට නොහැකි බවත්, එම පාඩුව රජයේ බදු මුදල් හරහා හෝ පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“විදුලි බිල වැඩි කිරීමකට යන්න වෙනවා”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා,

***”මේ වෙලාවේ සාමාන්‍යයෙන් වෙනදා නැති වාසියක් තියෙනවා. ජල විදුලිය සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැති කාලෙක. ඒ කියන්නේ එල් නිනෝ එකේ මැද වෙනදා හම්බ නැති වැහි දෙකක් විතර ගියා. එතකොට ඒ වෙලාවේ ජල විදුලියෙන් යම්තාක් දුරට පද්ධතිය ස්ථාවර කරගත්තා. ඒ වගේම සෝලාවලින් දවල් කාලය කරගත්තා. හැබැයි ඒත් මේක ඒ කියන්නේ මේක නැති කරොත් සීයට පහළවක් අවමය. ඒ කියන්නේ දැනට ගල් අඟුරු වංචාවේ එකෙනුත් සීයට දහයයි අතෙන්ට ගියේ.***ඒ කියන්නේ ගල් අඟුරු වංචාවේ පාඩුව සීයට දහයයිනේ කලින් විදුලි බිල වැඩි කිරීමේදී ඇතුළත් වුණේ. හැබැයි ඊළඟ එකේදි ගල් අඟුරු වංචාවේ එක එක්කෝ විදුලි බිලට ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැත්නම් කලින් කරා වගේ රජය. ඒ කියන්නේ බදු මුදල්. එක්කෝ බදු මුදල් වලින් යනවා. එක්කෝ පාරිභෝගිකයා ගෙවනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ අවුරුද්ද පුරාම මේ ගල් අඟුරු වංචාවේ පාඩුව ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අලුතෙන් ආයෙ නැව් එන්න පටන් ගන්නකන්ම, ඒ කියන්නේ ඒ නැව්වලින් විදුලි උත්පාදනය කරනකම්ම, ඒ කියන්නේ තව හරියටම තව සති දෙකක්, තුනක් යනකම්ම මේකේ වංචාවේ පාඩුව රටේ ජනතාවගේ ඇඟට යන එක නවත්තන්න බෑ…

මේ වෙලාවේ මේ පාවිච්චි කරන ෆර්නස්, ඩීසල් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ කියන්නේ මේ දූෂණය, මේ වංචාව වුණේ නැත්නම් මේ දැනට තියෙන වැස්සත් එක්ක හැකියාව තිබුණා කිසි ප්‍රශ්නයක් නැතුව දවල් කාලේ සෝලාවලින් යන ගමන් නොරොච්චෝලේ බලාගාරේ දැන් අද තුන්සීයක් අඩුවෙලා තියෙනවනේ, ඒ තුන්සීය තිබුණ නම් ඒ තුන්සීයයි අර අනිත් ටිකයි තිබුණා නම් කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ…

අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කිරීමකට යන්න වෙනවා. එහෙම නැත්නම් විශේෂ වැස්සක් ඇවිල්ලා ඉදිරි කාලයේදී ආශීර්වාදයක් වෙලා ආවේ නැත්නම්. හැබැයි පසුගිය කාලේ ගත්තොත් ඒ තිබ්බ අර ගල් අඟුරුවල වෙච්ච පාඩුව එකතු වීමට නියමිතයි. එතකොට අනිවාර්යෙන් විදුලි බිල වැඩි වීමකට යන්න වෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ එහෙම වෙයි කියලා. හැබැයි තුනෙන් එකක් අඩු කරන එක කෙසේ වෙතත් දැන් තුනෙන් එකක් විතර වැඩි වෙලා තියෙන්නේ. ඊට අමතරවත් ඉස්සරහට නම් ජනතාවට විශේෂයෙන්ම කාටවත් මේක දරා ගැනීමේ හැකියාවක් නැහැ. දැන් සංචාරක කර්මාන්තය ගත්තම හෙට අනිද්දා සීසන් එක පටන් ගන්නේ. එතකොට මේ විදුලි බිල වැඩි වුණොත් ඒක දරාගැනීමේ හැකියාවක් නෑ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button