
රුමේෂ් තරංගගෙන් මීටර් 92 වැඩි හෙල්ල විසිකිරීමේ නව වාර්තාවක්
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.
මෙරට වේලාවෙන් ඊයේ (04) රාත්‍රියේ පැවති හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ඔහු මීටර් 92.62ක දුරක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ හෙල්ල විසිකිරීමකින් මීටර් 90 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස සටහන් විය.
23 හැවිරිදි රුමේෂ්ගේ මෙම දක්ෂතාව තරගාවලියේ නව වාර්තාවක් ලෙසද වාර්තා අතරට එක්ව ඇති අතර, 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම ලෙසද සැලකේ. ඔහු බිඳ දැමුවේ 2006 වසරේ නෝර්වේජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර් 90.34කින් තැබූ තරග වාර්තාවයි.
එමෙන්ම ආසියානු ක්‍රීඩකයකු විසින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවද මෙය වේ. එහි ඉහළින්ම පසුවන්නේ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වන අතර, ඔහු පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 92.97ක දුරක් වාර්තා කර තිබුණි. රුමේෂ්ගේ දක්ෂතාව එම වාර්තාවට වඩා සෙන්ටිමීටර් 35කින් පමණ අඩුය.
මීටර් 90 සීමාව පසු කළ සිව්වැනි ආසියානු හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා බවටද රුමේෂ් පත්වී තිබේ. ඔහුට පෙර චීන තායිපේහි චෙං චාඕ-සුන් සහ ඉන්දියාවේ නීරාජ් චොප්රා එම ජයග්‍රහණය ලබා තිබුණි.
තවද, රුමේෂ්ගේ මීටර් 92.62ක විසිකිරීම ලෝක හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ 8 වැනි හොඳම දක්ෂතාව ලෙසද වාර්තා අතරට එක්ව ඇත. වසර හතරකට වැඩි කාලයක් තුළ මීටර් 92 සීමාව ඉක්මවා වාර්තා වූ දෙවැනි විසිකිරීමද මෙය බව සඳහන් වේ.
මෙම දක්ෂතාවය සමඟ රුමේෂ් බිඳ දැමුවේ ඔහු සතු ශ්‍රී ලංකා වාර්තාවම වන අතර, ඔහු මීට පෙර 2026 මාර්තු මාසයේදී මීටර් 89.37ක දුරක් සහ පසුව කෙන්යාවේ නයිරෝබි නුවර පැවති තරගයකදී මීටර් 89.28ක දුරක් වාර්තා කර තිබුණි.



