ප්‍රධාන පුවත්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට TH-57 Sea Ranger හෙලිකොප්ටර් 10ක් – මැයි 24ට දිවයිනට

අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇති TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට මෙරට බලා පිටත් කර තිබෙන බව තහවුරු වී ඇත.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම යානා මාර්තු 15 දින අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ Port Mobile වරායෙන් පිටත්ව ඇති බවයි.

ඒ අනුව, මෙම හෙලිකොප්ටර් යානා මෙම වසරේ මැයි 24 වන දින ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Bell 206B-3 Jet Ranger මාදිලියේ මිලිටරි ප්‍රභේදයක් වන මෙම යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාරදීමට නියමිත අතර, ඒවා එකතු වීමෙන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සෙවීම හා ගලවා ගැනීම වැනි අත්‍යවශ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම යානා සැලකිය යුතු ලෙස නවීකරණය කර ඇති බවද, මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීමද තහවුරු කරන බව මහින්ද සමරසිංහ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම, මෙම හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිත කණ්ඩායමක් ජනවාරි මාසයේදී අමෙරිකාවේ සංචාරයක ද නිරත වී ඇත.

මෙම වටිනා පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාව, අමෙරිකාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන බවද වැඩිදුරටත් සඳහන් වේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button