
ව්‍යාපෘති ප්‍රමාද වීම ගැන ජනපතිගේ අවධානය
ව්‍යාපෘති ප්‍රමාද වීම සඳහා ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම ප්‍රධාන හේතුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වූ ජනාධිපතිවරයා, 2026 සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසර සඳහා මූල්‍ය අවශ්‍යතා පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කළේය.
ඉදිරි වසරේ ආර්ථික සැලසුම් යටතේ පුනරාවර්තන වියදම් 9% මට්ටමේ පවත්වාගෙන යමින් ප්‍රාග්ධන වියදම් 4% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ අනුව 2027 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 40%ක පමණ වැඩිවීමක් බවද හෙතෙම පැවසීය.
භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සඳහා කාර්යක්ෂමව යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවත්, අනාගත පරපුරට අධික ණය බරක් ඉතිරි නොවන මූල්‍ය විනයක් ඇති ආර්ථිකයක් ගොඩනැගීම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජ දර්ශක සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයීම් මේ වන විට යහපත් මට්ටමකට පැමිණ ඇති බවද, දූෂණය අවම කර ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම තුළින් රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම, ජනතාවට නිවසේ සිට රාජ්‍ය සේවා ලබාගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ විශේෂ ක්ෂේත්රවල පළපුරුදු වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබඳව ද රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
රැකියා බිහිකිරීමේ වගකීම රාජ්‍ය අංශය පුළුල් කිරීමෙන් නොව, ශක්තිමත් පෞද්ගලික හා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමෙන් ඉටු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තරුණ පරපුර සඳහා නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව ද කියා සිටියේය.
ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, පළාත් සභා ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ජල ව්‍යාපෘති, නිවාස වැඩසටහන්, පාසල් ක්‍රීඩාපිටි සංවර්ධනය සහ ප්‍රජාශක්ති වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
එහිදී ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීමට ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා හේතු වී ඇති බව අනාවරණය වූ අතර, එම ගැටලු කඩිනමින් විසඳා ජාතික සංවර්ධන සැලැස්මට අනුකූලව සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්, ගාල්ල නගර සංවර්ධන සැලසුම්, කසළ කළමනාකරණය, පානීය ජල ව්‍යාපෘති සහ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, එම සියලු වැඩසටහන් කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.



