ප්‍රධාන පුවත්

දුරකථන කුලුනු කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි

දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල කේබල් කපා සොරකම් කළ බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අල්ලාගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 700ක් ද සොයාගෙන ඇත. පොලීසිය පවසන්නේ සැකකරුවන් විසින් රුපියල් 922,750ක පමණ වටිනාකමින් යුත් කේබල් කපා සොරකම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවය.

අවුරුදු 27 සහ 34 වයස්වල පසුවන රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරකම් කරන ලද කේබල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලීසිය සිදුකරයි.

මේ අතර, දුරකථන රැහැන් කපා සොරකම් කිරීම සහ නිවාස බිඳ දේපල සොරකම් කිරීම ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මොරටුව පොලීසිය විසින් ද අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ නිරත නිලධාරීන් පිරිසක් විසින් ඊයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අල්ලාගෙන තිබේ. විමර්ශනවලදී රුපියල් 180,000ක පමණ වටිනාකමකින් යුත් දුරකථන රැහැන් සොරකම් කිරීම් සහ ගෙවල් බිඳ දේපල සොරකම් කළ බවට තොරතුරු හෙළිවී ඇත.

අවුරුදු 51ක් වයසැති රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව සොරකම් කරන ලද රූපවාහිනියක් සහ තඹ කම්බි තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button