කාලගුණය

දිවයින පුරා වැසි රහිත කාලගුණයක් – සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අවදානම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ස්වල්ප වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. තවද, දකුණු පළාතට අමතරව රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබිය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් සැලකූ විට, දිවයින වටා මුහුදු කලාපවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බව සඳහන්ය. කන්කසන්තුරය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර, සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දිශාවෙන් හෝ වෙනස්වන දිශාවකින් හමා එන බව වාර්තා වේ.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 20 සිට 30 දක්වා පමණ වන අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවත් වැඩිදුරටත් සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button