ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට චීනය සහතික වේ – චීන තානාපති ප්‍රකාශයක්

 ලංකාවේ ඉන්ධන හිඟයක් හෝ අර්බුදයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොදෙන බව මෙරට චීන තානාපති චී චෑංග් හොංග් මහතා ප්‍රකාශ කරයි.

මෙම අදහස් ඔහු පළ කළේ මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී පැවැති අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිතුදහම මත, අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විසින් සහාය ලබාදී ඇති බවත්, එම සහය ඉදිරියටත් අඛණ්ඩව ලබාදීමට සූදානම් බවත් තානාපතිවරයා අවධාරණය කළේය.

මැද පෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ රටවල් කිහිපයක් බලපෑමට ලක්ව ඇති නමුත්, එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම ආධාර ලබාදීමට චීනය සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

ඒ අනුව, යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත්, චීනයේ සයිනොපැක් (Sinopec) සමාගම හරහා එය කළමනාකරණය කිරීමට පියවර ගන්නා බවද තානාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ආකාරයේ සහාය චීන රජය විසින් ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

තවද, මේ වනවිට මැද පෙරදිග පවතින සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීම පිළිබඳ තමන් සතුටු වන බවත්, ඉදිරියේ ඇතිවන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය සූදානම් බවද චී චෑංග් හොංග් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button