අද විශේෂ

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය අද (10) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

අංගමුව ජලාශය ජල මූලාශ්‍රය ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීමට හැකි වී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වන අතර, පුද්ගලයින් 91,810 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වේ. නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීමද මෙහි ප්‍රධාන අංගයකි.

මේ අතර, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතුද අද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශ ආවරණය කරන එම ව්‍යාපෘතිය මඟින් 2034 වන විට පුද්ගලයින් 170,951 දෙනෙකුට පානීය ජල පහසුකම් ලබාදීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම නිවාස 50,000කට නව ජල සම්බන්ධතා ලබාදීම සහ ඉහළ ෆ්ලෝරයිඩ් අන්තර්ගත භූගත ජලය භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු අවම කිරීමද මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එක්ව ක්‍රියාත්මක කරන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජාතික වැදගත්කමකින් යුත් සංවර්ධන වැඩසටහනක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button