ප්‍රධාන පුවත්

බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා තවත් ජංගම බස් රථයක්

විධිමත් හා ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම අරමුණු කරමින් ක්‍රියාත්මක බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තවත් ජංගම බස් රථයක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෙවසරක උපායමාර්ගික සැලැස්මට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

පොදු ප්‍රවාහන සේවයේ නිරත රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මෙම ජංගම පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මේ වනවිට දිවයිනේ පළාත් පහක් ආවරණය වන පරිදි එම පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී සෙසු පළාත්වලටද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගනිමින් සිටී.

මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත හා දේපළ හානි අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ජාතික අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන යටතේ මේ වනවිට පරීක්ෂණ 7,150ක් සිදුකර තිබේ.

අන්තර් අමාත්‍යාංශ සහයෝගිතාවද ලබාගනිමින් කෙටි, මධ්‍ය හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඔස්සේ මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම අපේක්ෂාව බව අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button