ප්‍රධාන පුවත්

මේ වසරේ මුල් මාස 6 තුළ ළමා අපයෝජන ඇතුළු පැමිණිලි 5,523ක්

මෙම වසරේ (2026) ජනවාරි සිට ජුනි 30 දක්වා කාලය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5,523ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව අනාවරණය වී තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, 2015 සිට 2025 දක්වා වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බවයි. ඇය මෙම තොරතුරු ඉදිරිපත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

අමාත්‍යවරිය පැවසුවේ, 2026 අප්‍රේල් 30 වනවිට මහාධිකරණවල ළමා අපයෝජන සම්බන්ධ නඩු 4,421ක් විභාග වෙමින් පවතින අතර, ඒවායේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බවයි.

එම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව සමඟ එක්ව දිවයින පුරා ළමා හා කාන්තා ආරක්ෂණ කාර්යාංශ 47ක් සම්බන්ධීකරණය කරමින් නඩු නියාමන කටයුතු සිදුකරන බවද ඇය සඳහන් කළාය.

වින්දිත දරුවන්ගේ ආරක්ෂාව සහ මානසික සුවපහසුව තහවුරු කිරීමේ පියවරක් ලෙස, ළමුන් අධිකරණයට කැඳවීම වෙනුවට ආරක්ෂිත පරිසරයකදී වීඩියෝ මාර්ගයෙන් සාක්ෂි සටහන් කර අධිකරණයට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතින බවද ඇය ප්‍රකාශ කළාය.

මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ දත්ත අනුව, 2026 වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති පැමිණිලි අතර ළමුන් කෘරත්වයට ලක් කිරීම සම්බන්ධ පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපයෝජන 60ක්, ලිංගික අතවර 213ක්, නීත්‍යානුකූල භාරයෙන් ළමුන් අපහරණය කිරීමේ පැමිණිලි 99ක්, ළමුන් සිඟමනේ යෙදවීමේ පැමිණිලි 100ක් සහ ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 82ක් වාර්තා වී තිබේ.

එමෙන්ම යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 40ක්, ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 5ක්, ළමයින්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධ පැමිණිලි 112ක් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිලි 13ක් ද මෙම කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button