ප්‍රධාන පුවත්

2027 ධීවර අයවැය ගැන ජනපතිගෙන් උපදෙස්

2027 ධීවර අයවැය සකස් කිරීමේ කටයුතු සහ 2026 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළ මෙම සාකච්ඡාවේදී 2026 වසර සඳහා වෙන් කළ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසර සඳහා යෝජිත ප්‍රතිපාදන පිළිබඳ දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

ඒ අනුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, සීනෝර් පදනම සහ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආයතනවල කාර්යසාධනය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, අපනයන ප්‍රවර්ධනය, ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සහ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම අරමුණු කරගත් වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මයිලඩි සහ ගන්දර ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘති, රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම, කරෛයිනගර් බෝට්ටු අංගනය නවීකරණය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් හානියට පත් ධීවර වරායන් යථා තත්ත්වයට පත් කිරීම සහ ධීවර ජනතාවට බෝට්ටු හා දැල් ආම්පන්න ලබාදීම සඳහා රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.

ඊට අමතරව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button