කාලගුණය

අඩු පීඩන කලාපය ඉවතට – අද සිට වැසි අඩුවෙයි, රතු නිවේදන රැසක් ඉවතට

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ දැනට පැවති තද වැසි තත්ත්වය අද (23) සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වේ. එසේම ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලට අමතරව අම්පාර දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින හැකියාවක් ද ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

 

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටියේ ප්‍රදේශවල ආරක්ෂිත තත්ත්වය සලකා බලමින් ඉවත් කළ ජනතාව යළි නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

 

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පමණක් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ද සඳහන් වේ.

 

එමෙන්ම අද (23) දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර, සියලු මාර්ග යථා තත්ත්වයට පත් කර ඇති බවත්, විභාග බලධාරීන් හා ආපදා කළමනාකරණ අංශ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

 

මේ සම්බන්ධව වැඩිදුරටත් පැහැදිළි කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා,

 

”මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ රතු නිවේදන ඉවත් කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට විතරයි මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් රතු නිවේදන ලබා දීලා තියෙන්නේ. දිගින් දිගටම ජනතාව දැනුවත් කරලා ඉවත් කිරීමේ කටයුතු කළා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසුව නිවෙස් වෙත යැවීමට ද කටයුතු කළා. අද උදෑසන වන විට සෝමාවතිය මාර්ගයේ විතරයි ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වෙන්නේ. අනෙක් මාර්ග යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා. 

කෙසේවෙතත් අද දිනයේත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. සියලු මාර්ග යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව සිදු කරන ඒකාබද්ධ සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මකයි. යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඒ දරුවන්ව විභාග මධ්‍යස්ථානවලට රැගෙන යාමට සහ විභාග කටයුතු වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපගේ සියලු හදිසි මෙහෙ‍යුම් මැදිරි ක්‍රියාත්මකයි. හදිසි මෙහෙ‍යුම් මැදිරි නිලධාරීන්, 117 දුරකථන අංක මැදිරි නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, තාක්ෂණික අංශ මේ සියලු අංශ අවධානයෙන් පසුවෙනවා, යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දක්වන්න. 117 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. කාලගුණය සම්බන්ධව ලබා දෙන නිවේදන පිළිබඳව ඔබ වඩාත් විමසිලිමත් වන්න”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button