
වසර 75කින් ප්‍රබලම එල් නිනෝවක් ගැන අනතුරු ඇඟවීමක්
එල් නිනෝ තත්ත්වය මෙවර ගෙවුණු වසර 75ක කාලය තුළ වාර්තා වූ තත්ත්වයන් අභිබවා යන මට්ටමකට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වයන් 28ක් වාර්තා වී ඇති අතර, ඒවා සමඟ සැසඳීමේදී මෙවර ඇතිවිය හැකි තත්ත්වය වැඩි බලපෑමක් සිදුකරනු ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා සඳහන් කළේය.
අද (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවර එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ පුරෝකථනය ද මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව මීට පෙර පැවති 69%ක පුරෝකථනය මේ වනවිට 75%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රබල එල් නිනෝවක් වීමේ ඉහළ අවදානමක්
ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම තත්ත්වය ‘ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව 98%ක් තරම් ඉහළ මට්ටමක පවතින බවද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
පැසිෆික් සාගර කලාපයේ සිදුවන මෙම පාරිසරික සංසිද්ධිය ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර දහස් ගණනක් ඈතින් පැවතියද, එහි බලපෑම මෙරට කාලගුණ රටාවටද බලපානු ඇතැයි සඳහන් වේ.
ඒ අනුව ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යා හැකිය.
කෙසේ වෙතත්, ඉදිරි සති දෙක තුළ වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, සැප්තැම්බර් මාසයේ අවසානය වනවිට වැසි තත්ත්වය ක්‍රමයෙන් වැඩි වී දිවයින පුරා පැතිර යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පසුව දැඩි ජල හිඟයක අවදානමක්
වැසි වැඩිවන කාලසීමාව අවසන් වීමෙන් පසුව තවත් කාලගුණික වෙනසක් ඇතිවිය හැකි බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවීමේ හැකියාවක් පවතී.
එම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී දැඩි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක්ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එල් නිනෝ තත්ත්වය යනු සෘජුවම වියළි කාලගුණයක් හෝ පෑවිල්ලක් පමණක් නොවන බවද අජිත් විජයමාන්න මහතා අවධාරණය කළේය. එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මෝසම් කාලගුණ රටාවේ සැලකිය යුතු වෙනස්කම් ඇති කළ හැකි සංසිද්ධියක් බවද ඔහු පැවසීය.
මේ අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඉදිරි කාලයේදී දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද මෙරට උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතිය හැකි බව සඳහන් වේ.
ඒ අනුව වර්ෂාපතනය ලැබුණද පවතින උණුසුම සැලකිය යුතු ලෙස අඩු නොවිය හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



