ප්‍රධාන පුවත්

WhatsApp Zero-Click ප්‍රහාරය ගැන iPhone පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

iPhone භාවිත කරන පුද්ගලයින්ගේ WhatsApp ගිණුම් අත්පත් කර ගැනීමේ හැකියාව ඇති නවතම WhatsApp Zero-Click ප්‍රහාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

එම සංසදයට ලැබී ඇති පැමිණිලි අනුව මෙම සයිබර් ප්‍රහාරය මෙරට තුළද ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂයෙන් iOS 16 මත ධාවනය වන iPhone උපාංගවල පවතින ආරක්ෂක දුර්වලතා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුකරන බව සඳහන් වේ.

ඉතාලියේ ආරක්ෂක විශ්ලේෂණ ආයතනයක් සිදුකළ පර්යේෂණයකට අනුව WhatsApp හි Linked Device Synchronization ක්‍රියාවලියට බලපාන ආරක්ෂක දුර්වලතා කිහිපයක් එකට භාවිත කරමින් ප්‍රහාරය සිදුකරන බවට සැක පළ වී තිබේ.

මෙම ප්‍රහාරයට ගොදුරු වූ ඇතැම් පුද්ගලයින්ගේ WhatsApp ගිණුම් හරහා වෙනත් පුද්ගලයින්ගෙන් මුදල් ඉල්ලා පණිවිඩ යවා ඇති බව වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් ගිණුම් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු වෙනසක් හඳුනාගැනීමට නොහැකි වූ බවටද පීඩාවට පත් පරිශීලකයින් ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

තවත් අවස්ථාවලදී ප්‍රහාරකයින් විසින් බලපෑමට ලක්වූ WhatsApp කණ්ඩායම්වල පරිපාලක අයිතිය පවා ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

iOS 16.7.12 ට පෙර සංස්කරණ භාවිත කරන උපාංග මෙම අවදානමට ලක්විය හැකි බවට විශ්වාස කරන අතර, මෙම WhatsApp Zero-Click ප්‍රහාරය සාමාන්‍ය සයිබර් ප්‍රහාරයකට වඩා සංකීර්ණ ක්‍රමවේදයක් ලෙස සැලකේ.

ඒ අනුව iPhone පරිශීලකයින් තම උපාංග නවතම iOS සංස්කරණයට යාවත්කාලීන කරගන්නා ලෙසත් WhatsApp යෙදුමද නවතම සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.

එමෙන්ම WhatsApp හි Two-Step Verification සහ Chat Lock පහසුකම් සක්‍රීය කර තබන ලෙසද උපදෙස් ලබාදී තිබේ.

WhatsApp හරහා අසාමාන්‍ය ලෙස මුදල් ඉල්ලා පණිවිඩයක් ලැබුණහොත්, එය විශ්වාස නොකර වෙනත් විශ්වාසදායක සන්නිවේදන මාර්ගයක් ඔස්සේ අදාළ පුද්ගලයාගෙන් තහවුරු කරගන්නා ලෙසද පරිශීලකයින්ට දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button