ප්‍රධාන පුවත්

නොරොච්චෝලේ බලාගාරයට හානියක් නැහැ – කෝප් කමිටුව කියයි

මෑත කාලයේ රටම කතා වුනු  ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් හානිවූ බවට පැවසුණු  නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.

එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගිය 6 වනදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිදු කළ ස්ථානීය පරීක්ෂාවකදී මේ බව සඳහන් කළේ ය. 

 

ලක්විජය බලාගාරය මේ වනවිට නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලි උත්පාදනයේ යම් අඩුවක් පැවතුණද එය මෙරටේ පවතින බලශක්ති අවශ්‍යතාවය සැලකිල්ලට ගත් විට ගැටලුවක් නොවන බවත් ඔහු පැවසීය. එමෙන්ම, ඉදිරියේදී අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණයද බලාගාරය සතුව බැවින් පරීක්ෂණ අවසන් වන තෙක් විවිධ ප්‍රචාරයන් හට  නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කමිටුව විසින් එම ස්ථානීය පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑමෙන් ආරම්භ කර විදුලිය ජනනය කරන තෙක් සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලිය විමර්ශනයට ලක් කළේය. 

එහිදී ගල්අඟුරු ගොඩබෑම, ගබඩා කිරීම, අහඹු නියැදි ලබා ගැනීම, නියැදි පරීක්ෂා කිරීම සහ ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

එමෙන්ම මෙරටට ආනයනය කරන ගල්අඟුරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ප්‍රතීතනය සහිත ස්වාධීන පරීක්ෂණාගාරයක් රට තුළ ස්ථාපිත කිරීම වැදගත් බවද කමිටුව සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇත.

කල්පිටිය අර්ධද්වීපයේ නාරක්කල්ලිය ප්‍රදේශයේ පිහිටි නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි බලාගාරය වන අතර මෙරට ඇති එකම ගල්අඟුරු විදුලි බලාගාරයද වේ. එය ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900කට අධික දළ ධාරිතාවක විදුලිය සපයන අතර රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සම්භව වන 35% සිට 40% දක්වා ප්‍රමාණයක් මෙහිදී නිෂ්පාදනය කෙරේ.

විදුලිබල මණ්ඩලයට අනුයුක්ත සේවකයින් 845 දෙනෙකු පමණ මෙම බලාගාරයේ සේවය කරන බවද එහි කළමනාකරු ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

තවද, ගල්අඟුරු ගොඩබෑමෙන් පසු ඒවා ගබඩා කර තැබීම සඳහා අක්කර 47ක ප්‍රමාණයක අංගනයක් බලාගාරය සතුව පවතින අතර, නියැදි පරීක්ෂාව සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සහ විදුලි ජනනය සම්බන්ධ තත්‍ය දත්ත පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද එහි ඇති බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියේ ඇතැම් ගැටලු පවතින බවත් එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් කාරක සභාව අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button