
බොරතෙල් මිල 9%කින් ඉහළට | ලෝක වෙළෙඳපොළ උණුසුම් වෙයි
මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඉහළට
බොරතෙල් මිල මැදපෙරදිග කලාපයේ යළි උද්ගත වී ඇති නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ තුළ 9%කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 7.29කින් ඉහළ ගොස් ඇති අතර, එය 9.59%ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. මේ වනවිට බ්‍රෙන්ට් මිල බැරලයක් ඩොලර් 83.30ක් ලෙස දැක්වේ.
එමෙන්ම WTI බොරතෙල් මිලද ඩොලර් 6.73කින් වැඩි වී ඇති අතර, එය 9.42%ක ඉහළ යාමක් ලෙස වාර්තා වේ. ඒ අනුව WTI බැරලයක මිල ඩොලර් 78.14ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි මෙම ඉහළ යාම අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ විශාලතම එක්දින වැඩිවීම වන අතර, ජූනි 12 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටම ද මෙය බව සඳහන් වේ.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේ කටයුතු සඳහා අමෙරිකාවේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර, අවසරයකින් තොරව එම ප්‍රදේශයේ යාත්‍රා කිරීමට දරන උත්සාහයන්ට ප්‍රතිචාර දක්වන බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ගාස්තු අය කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය විරෝධය පළ කර ඇති අතර, එවැනි බදු පැනවීමට නීතිමය පදනමක් නොමැති බව අවධාරණය කර ඇත.
ගෝලීය තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වූ අතර, වත්මන් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නෞකා ගමනාගමනය යළි මන්දගාමී වී තිබේ.



