ප්‍රධාන පුවත්

මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%කම පවත්වාගනී

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. සැප්තැම්බර් 29 පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම ඒ සඳහා සැලකිල්ලට ගෙන ඇත.

2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබඳවද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

එමෙන්ම මැදපෙරදිග කලාපයේ වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අවදානම් පිළිබඳවද සලකා බලා ඇති බව සඳහන් වේ.

2026 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව පවසයි.

මේ අතර, 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8.0% දක්වා ඉහළ ගොස් තිබේ. මහ බැංකු දත්ත අනුව ජූලි මාසයේ පැවති 7.3% මට්ටමේ සිට එය ඉහළ ගොස් ඇති අතර, ආහාර මිල ගණන් ඉහළ යාමද එයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත පැතිරීමද උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් අනතුරුව ක්‍රමයෙන් 5% ඉලක්කය වෙත පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, 2026 අගෝස්තු අවසානය වන විට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව විසින් සිදුකරන ලද ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම්ද විදේශ සංචිත ඉහළ යාම සඳහා දායක වී ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button