
මත්පැන් බෝතල් ආරක්ෂිත ස්ටිකර් වියදම ගැන කාරක සභාවේ අනාවරණයක්
මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත ස්ටිකර් පද්ධතිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
එහිදී හෙළිවූයේ, ආරක්ෂිත ස්ටිකරය කඩදාසි ස්ටිකරයක් ලෙස නොව ඩිජිටල් මුද්‍රණයක් ලෙස භාවිත කළද, ඒ සඳහා අය කරන වියදම අඩු වී නොමැති බවයි. මෙරට මත්පැන් සහ බීර නිෂ්පාදනය කරන සමාගම් දෙකක බෝතල්වල නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් සාම්ප්‍රදායික ස්ටිකර් ඇලවීමට නොහැකි බැවින් ඩිජිටල් ආරක්ෂිත සලකුණක් යොදා ගන්නා බව ද එහිදී සඳහන් විය.
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,
“දැන් මේ ස්ටිකර් එකේ ප්රශ්නය. ප්‍රඩක්ෂන් එක කොහොමද ? කොච්චර හොරට විකිණෙනවාද කියන එකනේ අපි ප්‍රශ්න කරන්නේ.”
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,
“ස්ටිකර් වැඩේ පටන් ගත්තේ 2022 වසරේ. 2027 ජනවාරි 2න් පස්සේ දැනට තියෙන ආයතනයේ ගිවිසුම අවසන් වෙනවා. අලුත් ටෙන්ඩරයක් දාන්න කටයුතු කරගෙන යනවා. ඒගොල්ලෝ ස්ටිකර් මුද්‍රණය කරලා දෙන්න ඕනේ. ස්ටිකර් ඇලවීම කරන්නේ මත්පැන් නිෂ්පාදකයා. ස්ටිකර් 1000කට ඩොලර් 5.99ක් ගෙවනවා. වරාය ගාස්තු සහ තීරුබදු ගාස්තු එක්ක ඔක්කොම ඩොලර් 7.99ක්. දේශීය සමාගම් දෙකෙන් එකක නිෂ්පාදන වේගවත් නිසාත් අනෙක් සමාගමේ සිසිල් කරලා ගන්න නිසා වතුර තියෙන නිසා කඩදාසි ස්ටිකර් එක අලවන්න බැහැ. ඒ නිසා ඒ සමාගම් දෙකට ඩිජිටල් ස්ටිකර් එකක් ගහලා තියෙනවා. 80%කට වඩා තියෙන්නේ ඩිජිටල්. අලවන්නේ නැහැ. ඩිජිටල් වදින්නේ.”
එම ප්‍රකාශයෙන් අනතුරුව ඩිජිටල් මුද්රණයටද එම වියදමම අය කරන්නේ ඇයිදැයි කමිටුවේ සභාපතිවරයා ප්‍රශ්න කළේය.
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,
“ඩිජිටල් වදිනකොට ඒකට කීයක් ගන්නවාද ?”
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,
“ඒකටත් සර් ඩොලර් 7.99ක්.”
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,
“ඈ..ස්ටිකර් එකක් නෑනේ. මං අහන්නේ ඩොලර් 5.99ක් කිව්වා කොස්ට් එක කඩදාසියෙන් ගහන්න. මේකට 5.99ක් යන්නෑ නේ. ඩිජිටල් එකේදී ඇලවීමක් වෙන්නේ නෑ නේ. කොළයෙන් ඩිජිටල් ප්‍රින්ට් එකට යනකොට කොස්ට් එක 80% විතර අඩු වෙන්න ඇති නේ. 5.99ක මුදලක් ගෙවන්නේ ඇයි ?.”
ඊට පිළිතුරු ලෙස නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා මහතා,
“ටෙන්ඩර් එකේ දීලා තියෙන්නේ ඒ ගාන සර්.”
යනුවෙන් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ, ඩිජිටල් මුද්‍රණය භාවිත කිරීමෙන් වියදම අඩු වුවද, ටෙන්ඩර් ගිවිසුම අනුව එම මුදලම අදාළ සමාගමට ගෙවනු ලබන බවයි.



