
බන්ධනාගාර තදබදය – නිවාස අඩස්සි පනත් කෙටුම්පත කඩිනම් කරයි
රටේ බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින්, සුදුසු නඩු සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා සකස් කෙරෙන පනත් කෙටුම්පතේ කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර අමාත්‍ය මණ්ඩලය ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම ආරම්භ කර තිබූ අතර, එය තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා 2025 ජූනි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද මූලික අනුමැතිය ලබාදී තිබුණි.
පසුව සිදුකළ සමාලෝචනවලදී පනත් කෙටුම්පතට ඇතුළත් කළ යුතු තවත් වැදගත් විධිවිධාන කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒවාද එක්කරමින් කෙටුම්පත අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, බන්ධනාගාර තදබදය සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට නියමිතය.



