
යල කන්නය 2026: වගා බිම් සඳහා ජලය ප්‍රමාණවත් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව
මෙවර යල කන්නය සඳහා ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීමේදී කිසිදු හිඟයක් හෝ ගැටලුවක් ඇති නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල මේ වන විට 76%ක් දක්වා ජලය ගබඩා වී ඇති බවයි.
දිවයින පුරා ක්‍රියාත්මක වන වාරි ව්‍යාපාර 376ක් හරහා අක්කර 820,000කට ආසන්න වගා බිම් ප්‍රමාණයකට ජලය සැපයීමට හැකි බවද ඔහු පැවසීය. එමෙන්ම, මෙවර යල කන්නය සඳහා අක්කර 697,800ක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, එයින් අක්කර 651,000ක් වී වගාව සඳහාත්, අක්කර 46,800ක් අතුරු භෝග සඳහාත් වෙන් කර ඇත.
මේ වන විට ප්‍රධාන වාරි ව්‍යාපාරවල බිම් සැකසීම සහ වගා කටයුතු ආරම්භ කර ඇති අතර, අප්‍රේල් 01 වනදා වන විට ව්‍යාපාර 205ක බිම් සැකසීම අවසන් කර වගා කටයුතු නැවත ආරම්භ කර තිබේ.
ඉදිරියේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් වගා බිම් 75ක බිම් සැකසීම සම්පූර්ණ කර වගා කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඉතිරි වාරි ව්‍යාපාර සඳහා යල කන්නයේ කටයුතු අලුත් අවුරුද්දෙන් පසු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම කාලය තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් බිම් සැකසීම සඳහා භාවිත කරන ජලය සුරක්ෂිතව සහ අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවද හේරත් මහතා අවධාරණය කළේය. උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ජල වාෂ්පීකරණය වැඩි වීමක් ද නිරීක්ෂණය වී ඇති බවද ඔහු පැවසීය.
එබැවින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිත කිරීම, ජල කළමනාකරණ කමිටු විසින් ගන්නා තීරණ අනුව ක්‍රියා කිරීම සහ ගොවීන් හා කෘෂිකාර්මික නිලධාරීන් අතර සමන්විතතාවය තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද ඔහු කියා සිටියේය.
මෙවන් ක්‍රියාමාර්ග හරහා යල කන්නයට අවශ්‍ය ජලය සපුරාලීමටත්, ඉදිරි කාලසීමාව සඳහා පානීය ජලයද සුරක්ෂිත කර ගැනීමටත් හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



