
කාන්තා සෞඛ්‍යය පවුලකම ශක්තියක් – සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක SAJITH PREMADASA මහතා පවසන්නේ කාන්තා සෞඛ්‍යය යනු කාන්තාවන්ට පමණක් සීමා වූ කරුණක් නොව, සෑම පවුලකම යහපැවැත්ම හා ස්ථාවරත්වය තීරණය කරන මූලික අංගයක් බවයි.
ලෝක ඔසප් සෞඛ්යාරක්ෂක දිනය නිමිත්තෙන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, පවුල්වල වැඩිම රැකවරණ වගකීම් දරන කාන්තාවන්ට අන් අය වෙනුවෙන් තම සෞඛ්‍යය සහ යහපැවැත්ම අතහැර දැමීමට සිදු නොවිය යුතු බවයි.
එම සටහනෙන් ඔහු ප්‍රශ්න කර තිබුණේ, තම වේදනාවන් නිහඬවම දරාගැනීමට කාන්තාවන්ට බල කරන අතර ඒ පිළිබඳව විවෘතව කතා කරන හෝ සහාය ඉල්ලන අය විවේචනයට ලක් කරන සමාජයක් අප ගොඩනඟන්නේද යන්නයි.
තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන කාන්තාවන්ට ගෞරවය හිමිවිය යුතු බවද, ඔවුන්ට සහාය දක්වන පිරිමින් උපහාසයට ලක් නොකර අගය කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එමෙන්ම, “Period Poverty” හෙවත් ඔසප් දරිද්‍රතාවය වැනි තත්ත්වයක් නූතන සමාජයක පැවතිය නොහැකි බවත්, එය මානුෂීය සමාජයකින් මුළුමනින්ම ඉවත් කළ යුතු ගැටලුවක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
සෑම වසරකම මැයි 28 වනදා ලෝක ඔසප් සෞඛ්යාරක්ෂක දිනය සමරනු ලබන අතර, එහි අරමුණ වන්නේ ඔසප් වීම සම්බන්ධයෙන් පවතින ලැජ්ජාව හා වැරදි මතවාද දුරලා, කාන්තාවන්ට ගෞරවනීය සහ සුරක්ෂිත ආකාරයෙන් ඔසප් සෞඛ්‍යය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුවත්භාවය හා පහසුකම් වර්ධනය කිරීමයි.




