
හදිසි ණය දෙන මුවාවෙන් දත්ත සොරාගැනීමේ වංචාවක්
හදිසි ණය දෙන බව පවසා දත්ත සොරාගැනීමේ වංචාවක්
හදිසි ණය ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පණිවිඩවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවගෙන් ඉල්ලා සිටී.
හදිසි ණය වංචා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සංසදය සඳහන් කරන්නේ, එවැනි පණිවිඩවල අඩංගු ලින්ක් විවෘත කිරීම හෝ යෙදවුම් බාගත කිරීමෙන් වළකින ලෙසයි.
යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් තම පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට සැකයක් පවතින්නේ නම්, 101 අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසද SLCERT දැනුම් දී තිබේ.
මේ වන විට සමාජ ජාල ඔස්සේ රුපියල් 5,000 සිට රුපියල් 150,000 දක්වා හදිසි ණය ලබාදෙන බව සඳහන් පණිවිඩ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.
එමෙන්ම ඇතැම් පණිවිඩවල රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය ලබාදෙන බවත්, ලියකියවිලි හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන බවත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම වංචනික ක්‍රියාවල අරමුණ වන්නේ ණය ලබාදීම නොව, ජනතාවගේ පෞද්ගලික දත්ත ලබාගැනීම බව SLCERT පෙන්වා දෙයි.
එම පණිවිඩවල අඩංගු ලින්ක් හරහා තොරතුරු ඇතුළත් කිරීමට පරිශීලකයන් පොළඹවන අතර, ඒවා හරහා Remote Administrative Tool (RAT) වැනි අනිෂ්ට මෘදුකාංග ජංගම දුරකථනවලට ඇතුළත් විය හැකි බවට අනතුරු අඟවා ඇත.
එවැනි මෘදුකාංගයක් ජංගම දුරකථනයට ඇතුළත් වුවහොත් එහි පාලනය වෙනත් පාර්ශ්වයකට හිමිවිය හැකි අතර, ඡායාරූප, ලිපිගොනු, දුරකථන අංක සහ අනෙකුත් පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාවද ලැබිය හැකිය.
තවදුරටත් එවැනි වංචනික ආයතන මගින් පුද්ගලයන්ට නැවත නැවත ණය ලබාගැනීමට පෙළඹවීම් සිදුකරන අතර, පසුව අධික පොලී සහ දැඩි කොන්දේසි හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවද සඳහන් වේ.
පහසු ණයක් ලබාගැනීමට යාමේදී පෞද්ගලික තොරතුරු, මුදල් සහ සමාජ ගෞරවය පවා අහිමි විය හැකි බැවින් මෙවැනි පණිවිඩ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.



