
අකුරේගොඩ ද්විත්ව ඝාතනය: සැකකරුවන් 3ක් අද කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට
තලංගම, අකුරේගොඩ ප්රදේශයේ සිදුවූ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ඝාතන සිද්ධියෙන් අනතුරුව සැකකරුවන් තම ජංගම දුරකථනවල දත්ත මකා දැමූ බව පොලීසිය සඳහන් කරයි.
ඉකුත් සිකුරාදා පස්වරුවේ අකුරේගොඩදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 12ක් යොදවා සිදු කෙරිණි.
විමර්ශන අතරතුර බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16 වනදා පස්වරුවේ කොට්ටාව ප්රදේශයේදී ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවි ප්රවාහනය කළ බවට සැක කෙරෙන සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කළ අතර, අද දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී ඇත.
එම ප්රශ්න කිරීම්වලින් අනාවරණ වූ තොරතුරු මත, ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්රදේශයේදී ‘ඩිලා’ ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විමර්ශනවලට අනුව, ඔහුගේ උපදෙස් මත තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්රවාහනය කර ඇති අතර, ඒ සඳහා ඔහු ද සෘජුවම සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්රියාත්මකයි.



