උණුසුම් පුවත්

ඉන්දියන් සාගරයේ භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

ඉන්දියන් සාගරයේ භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

ඉන්දියන් සාගරයේ භූචලනය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස වාර්තා වෙයි

එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇති අතර, ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් දූපත් ආශ්‍රිත කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනයක් සිදුව ඇති බවද තහවුරු කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළ පරිදි මෙම භූචලනය අද පස්වරු 4.36ට පමණ සිදුව තිබේ.

එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක පමණ ගැඹුරකින් හටගෙන ඇති අතර, එහි පිහිටීම දකුණු අක්ෂාංශ 17.78ක් සහ නැගෙනහිර දේශාංශ 65.82ක් ලෙස වාර්තා කර තිබේ.

අදාළ භූචලනය පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනයක් එම මධ්‍යස්ථානය විසින් අද පස්වරු 5.10ට නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම භූචලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button