
සරම්ප රෝගය යළි මතුවෙයි: කොළඹින් රෝගීන් 2ක් හමුවේ – දරුවන්ට එන්නත් අනිවාර්යයි
වසර කිහිපයක් තුරන් වී තිබූ සරම්ප රෝගය නැවතත් මෙරට තුළ මතුවන ලකුණු පෙන්වමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගී ළමුන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සරම්ප එන්නත ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් සම්පූර්ණ එන්නත් ලබාදීමට දෙමාපියන්ට උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකාව 2019 වසරේදී සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් වුවද, 2023 වසරෙන් පසු ඇතැම් ප්‍රදේශවලින් නැවතත් රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ, 2025 ජනවාරි මාසයෙන් පසු රෝගීන් කිසිවකු වාර්තා නොවූවත්, නවතම වශයෙන් හඳුනාගත් මෙම රෝගීන් දෙදෙනා කොළඹින් වාර්තා වී ඇති බවයි. එම රෝගීන් අතරින් එක් දරුවෙකුගේ නියැදිය ඉන්දියාවේ රසායනාගාරයකට යොමු කර ඇති අතර, එම වෛරසය විදේශයෙන් පැමිණ ඇති බව තහවුරු වී තිබේ.
තවද, සරම්ප රෝගය වැළඳීමෙන් පසුව ශරීරයේ ප්‍රතිශක්ති මතකය දුර්වල වීම හේතුවෙන් අනෙකුත් රෝගවලට පහසුවෙන් ගොදුරු වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඒ සමඟම, SSPE නම් මාරාන්තික සංකූලතාවය සරම්පයෙන් සුව වූ වසර ගණනාවකට පසුව පවා ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇත.
ඒ අනුව, සරම්ප රෝගය සුව වුවද එය සම්පූර්ණයෙන් අවසන් වූවක් ලෙස නොසලකා, විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.



