
වගා හානි වන්දි අද සිට ගොවීන්ගේ ගිණුම්වලට
වගා හානි වන්දි අද සිට වියළි කාලගුණයෙන් බැටකෑ ගොවීන්ට සහනයක්
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්රික්ක කිහිපයක ගොවීන් සඳහා වගා හානි වන්දි ගෙවීම අද (04) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්රික්කයේ වගා හානි සිදුවූ ගොවීන්ගේ රක්ෂණ වන්දි මුදල් අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබේ.
අනෙකුත් දිස්ත්රික්කවල වගා හානි සිදුවූ සියලුම සුදුසුකම් ලැබූ ගොවීන් සඳහා ලබන 15 වැනිදාට පෙර වගා හානි වන්දි ලබාදීමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
වියළි කාලගුණය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු භෝග රැසකට හානි සිදුව තිබේ.
ගොවීන් විසින් වගා හානි වාර්තා කිරීමෙන් පසුව නිලධාරීන් වගා බිම් වෙත ගොස් හානි පිළිබඳ පරීක්ෂා කර ඇති අතර, එහිදී හානියට පත් වගා බිම් ප්රමාණය තක්සේරු කිරීමෙන් අනතුරුව වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදාහැරීමට පියවර ගෙන ඇත.
මෙම වගා හානි වන්දි ගෙවීම සඳහා රජය විසින් මේ වනවිට රුපියල් මිලියන 3,000කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
හානි වූ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග හය සඳහා හෙක්ටයාරයකට උපරිම වශයෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් හිමිවන අතර, උපරිම අක්කර 5ක් සඳහා වන්දි ලබාදීමට නියමිතය.



