ප්‍රධාන පුවත්

GovHR පද්ධතිය රාජ්‍ය සේවයට හඳුන්වා දෙයි

රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා GovHR පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය පසුගියදා එළිදක්වා ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ රාජ්‍ය ආයතනවල සේවය කරන සියලුම රාජ්‍ය සේවකයින්ට අදාළ තොරතුරු, සේවා කළමනාකරණය සහ මානව සම්පත් පරිපාලන ක්‍රියාවලීන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බවයි.

කඩදාසි මත පදනම් වූ සාම්ප්‍රදායික ක්‍රමවේද හේතුවෙන් ඇතිවන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතා අවම කිරීම සඳහාද මෙම පද්ධතිය හඳුන්වා දී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයින් බඳවා ගැනීමේ සිට ස්ථීර කිරීම, උසස්වීම්, ස්ථාන මාරු, දේශීය හා විදේශීය පුහුණු කටයුතු, දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම දක්වා වන මානව සම්පත් ක්‍රියාවලීන් තනි මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන ඒමට සැලසුම් කර ඇත.

එමෙන්ම GovHR පද්ධතියේ අන්තර්ගත තොරතුරු අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සෘජුව සම්බන්ධ කිරීමටද අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම ක්‍රමවේදය හරහා රාජ්‍ය සේවය තුළ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

තවද ආයතනික මෙන්ම ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරීමද GovHR පද්ධතිය හඳුන්වාදීමේ තවත් අරමුණක් බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button