
අපේ නිදහසට චාල්ස් රජුගෙන් සහ බහරේන් මහරජුගෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය අද (04) සමරනු ලබන අතර, ඒ අවස්ථාව නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.
කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ලිපියකින්, චාල්ස් රජු ශ්‍රී ලංකාවට සිය උණුසුම්ම සුබ පැතුම් පිරිනමමින්, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය හා ගැඹුරු ඉතිහාසමය බැඳීම් පිළිබඳව අවධාරණය කර ඇත.
එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් එරටට ලබාදෙන වටිනා දායකත්වය පිළිබඳවද ඔහුගේ ප්‍රශංසාව මෙහිදී පළ කර ඇත. එමෙන්ම අධ්‍යාපනය, වෙළඳාම සහ අනෙකුත් ක්ෂේත්රවල දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
මේ අතර, බහරේන් රාජ්‍යයේ මහරජු හමාද් බින් ඉසා අල් කලීෆා මහරජුද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බව වාර්තා වේ.



